සිරිලක හරිත උයන්

Author:Chamodi Lakshani

12 Jan 2121


avatar

ස්වභාවික පරිසරයට අනුකූලව ඉබේම වැඩෙන ශාකයන් අප ස්වභාවික වෘක්ෂලතා නමින් හඳුන්වන අතර ඒවායෙහි වර්ධනයෙහි අද්විතීය වු භූ විද්‍යාත්මක සැලැස්ම අපගේ වෘක්ෂලතාවල විවිධත්වයට සෘජුවම බලපානු ලැබේ. එනම් ඊට බලපාන ප්‍රධාන සාධක ලෙස භූවිෂමතාව, දේශගුණය, පසෙහි ස්වභාවය හා මානව ක්‍රියාකාරකම් යනාදිය දැක්විය හැකිය. එමෙන්ම වනාන්තරවල ස්වරූපය වෙනස්වීම කෙරෙහි අක්ෂාංශික පිහිටීම හා ඒ අනුව ඇති වී තිබෙන දේශගුණික රටාවන් බලපානු ලැබේ.

                             වනාන්තරයක් වීමට නම් භූමියෙන් 10%කට වැඩි ප්‍රමාණයක් තුරු වියනකින් වැසී පැවතිය යුතු අතර 0.5ha වැඩි ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබිය යුතුය.  පරිණත ශාකයක අවම උස 5mක් හෝ ඊට වඩා විශාල විය යුතුය. නිසැකවම භූමි පරිභෝජනය කෘෂිකාර්මික නොවිය යුතුය. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුතු වනාන්තර මුලිකවම ප්‍රාථමික හා ද්වීතීයික වනාන්තර ලෙස ආකාර දෙකකි.

                             කිසිඳු මිනිස් බලපෑමකට ලක් නොවී ජෛව විවිධත්වය අධික වූත් ආවේණික ජිවී විශේෂ බහුල වූත් වනාන්තර ප්‍රාථමික වනාන්තර ලෙස සැලකේ.

                             මිනිසාගේ මැදිහත්වීමකින් හෝ ස්වභාවික හේතුන් පදනම් කරගනිමින් හෝ එළි වී නැවත ප්‍රති නිර්මාණය වු වනාන්තර ද්විතීයික වනාන්තර නම් වන අතර ජෛව විවිධත්වය ඉතා අඩුය.

 

                             ලෝක භූමියෙන් 29%ක්ම වනාන්තරවලින් වැසී තිබෙන අතර දේශගුණය හා වෘක්ෂලතා වල ලක්ෂණ අනුව ලෝකයේ ප්‍රධාන වනාන්තර වර්ග 03ක් හඳුනාගෙන ඇත. ඒවා නම්,

  1. නිවර්තන වනාන්තර
  2. පතනශීලි වනාන්තර
  3. කේතුධර වනාන්තර  ආදී ලෙස දැක්විය හැකිය.

                       රටක භූමී ප්‍රමාණයෙන් අවම වශයෙන් 35%ක ප්‍රමාණයක්වත් වන වැස්මක් තිබිය යුතු අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව 20%ක පමණ ප්‍රමාණයකින් යුක්ත වේ.

                       ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය අතින් උණුසුම්ම ස්ථානවලින් එකකි. මෙම විවිධත්වය රඳා පවතිවනුයේ රට තුළ පවතින වර්ෂාපතනය, උන්නතාංශය, මුහුදු මට්ටමේ සිට ඇති දුර, සුළඟේ ස්වභාවයෙහි ප්‍රතිඵලයක් ලෙසය. අප ජීවත්වන පරිසරයේ මනා පැවැත්ම රඳා පවතිනුයේ එම පද්ධතියේ පවත්නා ජිවී, අජිවී සංඝටකවල තුලනාත්මක පැවැත්ම මතය. එබැවින් ස්වභාවික වනාන්තර ජිවීන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍යය.

                       ඉහත ලක්ෂණයන්ට අනුරූපව ලංකාවේ වනාන්තර පහත ආකාරයට වර්ග කර තිබේ.

  1. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
  2. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
  3. අතරමැදි සදාහරිත වනාන්තර
  4. නිවර්තන කඳුකර වනාන්තර
  5. කටු පඳුරු හා ළඳු කැළෑ  ලෙසය

 

  1. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර

 

         ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටයි. මෙම වනාන්තර ඉහළ ජෛව විවිධත්වයක් පවතින අතර ශාක ස්තරීභවනය පෙන්වයි. මෙම වනාන්තරවල දැකිය හැකි සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාක ස්තර පහකට අනුව පිහිටීමයි. ඒවා නම් නෙරු ශාක ස්තරය, වියන, උප වියන, පඳුරු හා යටි වගාවයි.

 

වසර පුරාම පවතින වර්ශාව නිසා නියං නොමැති අතර සදාහරිත වේ. මේවායේ උසින් වැඩි ශාක බහුලව දැකිය හැකි අතර දැවමය වටිනාකමින් යුතු ශාක බහුලය. දිය බේරීම සඳහා පත්‍ර අග්‍රය තියුණු ලෙස සැලසී ඇත. අරෝහක ශාක හා අපි ශාක බහුලය. වනයේ පතුලට ආලෝකය ලැබීම ඉතා අඩුය. මේ නිසා යටි වගාව දුර්වලය. ශාක මඟින් අධික ලෙස පෝෂක අවශෝෂණය කරන නිසා පස නිසරු මෙම වනාන්තරවල නා, හොර, දූන, නවද, වල් දෙල්, දුන් බෙරලිය, හල් හා මලමඩ වැනි ශාක බහුලව දැකිය හැක. මෙම වනාන්තරවලට උදාහරණ ලෙස සිංහරාජය හා කන්නෙලිය දැක්විය හැක.

 

  1. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

 

         ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 60%ක් පමණ අයත් වන්නේ මෙම වනාන්තරවලටය. මෙම වනාන්තරවලට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං වලිනි. ඒ නොවැම්බර් සිට ජනවාරි අතර කාලය තුළය. මැයි සිට අගෝස්තු අතර කාලය ඉතාම වියළි ස්වභාවයක් පවතී.

 

         මෙම වනාන්තරවල එකට යා වුණු වියන් ස්වභාවයක් දක්නට නොලැබෙන අතර ජෛව විවිධත්වය හා ඒක දේශීකත්වය අඩු අගයක් ගනී.  ඝන බිම් වගාවන් දැකිය හැකිය. මෙම වනාන්තර අනුරාධපුරය, පොළොන්නරුව, හා අම්පාර වැනි ප්‍රදේශවල දැකගත හැකිය. මෙම වනාන්තර වල අලියා, ගොනා, මුවා, වල් ඌරා, දිවියා වැනි සතුන් මෙන්ම වඳුරන්, රිළවුන්, හා උණහපුළුවන් වැනි ක්ෂීරපායින් විශේෂයන්ද ජීවත් වේ.

 

         වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලට නිදසුන් ලෙස රිටිගල, පිදුර ගල, වියළි කලාපීය වනාන්තර හා සීගිරි වනාන්තරය දැක්විය හැකිය. ජෛව විවිධත්වය අතින් අඩුය. පැහැදිලි ස්තරීභවනයක් නැත. පතනශීලී ශාක බහුලව දැකිය හැකි අතර ශාක ඝනත්වය අඩුය. දැවමය වටිනාකමකින් යුක්ත වු බුරුත, නඳුන්, හල්මිල්ල, පලු, කලුවර ආදී ශාක ඇත.

 

  1. අතරමැදි සදාහරිත වනාන්තර

 

         තෙත් කලාපයත් වියළි කලාපයත් අතර කලාපයේ මෙම අතරමැදි සදාහරිත වනාන්තර හෙවත් අන්තර් මධ්‍ය කලාප වනාන්තර දක්නට ලැබේ.  ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශවලට අයත් වනාන්තර එළිපෙහෙලි කොට වෙනත් කටයුතු සඳහා ඉඩම් ලබාගෙන ඇත. එම නිසා සමනලවැව, පොල්ගහවෙල වැනි ප්‍රදේශවලට මෙම වනාන්තර සිමා වී ඇත.

 

  1. නිවර්තන කඳුකර වනාන්තර

 

         ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය වෙත ගමන් කිරීමේදී මුහුදු මට්ටමේ සිට 1200m ඉක්මවන විට මෙම වනාන්තර දැකිය හැක. එනම් හෝටන්තැන්න, නකල්ස්, පිඳුරුතලාගල, බෝපත් තලාව, හග්ගල, කිකිලියාමාන, සමනල අඩවිය යනාදී ස්ථාන දැක්විය හැකිය.

 

         2000m පමණ උස්බිම්වල වැඩෙන මෙම වනාන්තරවල ශීත දේශගුණයක් පැවතියද වාතයේ ආර්ද්‍රතාවය අඩු බැවින් වියළි ස්වභාවයක් ගනී. එබැවින් ශාක පත්‍ර කුඩා වේ. ඒවා නම් අපි ශාක හා ඕකිඩ්ය. ඇඹරී ගිය කඳන් සහිත කුරු ශාක දැකගත හැකිය. ඝනව විහිඳුන ශාක ස්ථරයට පහළින් පැළෑටි සහිත පැතලි මුදුන්වලින් යුතු අඛණ්ඩ වියමනක් මෙම වනාන්තරවල දැකිය හැකිය. ඒ වගේම මීවන ශාක, පාසි හා ලයිකන සහිත යටි වගාවක් දැකිය හැකිය. මෙම වනාන්තරවල කීන, වල් සපු, හා ගල් වෙරළු ආදී ශාක දැකිය හැක.

 

 

  1. කටු පඳුරු හා ළඳු කැළෑ

 

වර්ෂාව ඉතා අඩු, අධික සූර්යය තාපය හා වියළි සුළඟක් සහිත ප්‍රදේශවල මෙම වනාන්තර දැකිය හැකිය. මෙම වනාන්තරවල ජීවත්වන ජීවත්වන ජිවීන්ට අධික ජල හිඟයකට මුහුණ දීමට සිදු වේ. මෙම ශුෂ්ක කලාපයේ ශාක උසින් අඩු කුරු ස්වභාවයක් ගන්නා අතර දිගු හෝ පැතිරුණු මූල පද්ධතියක් තිබේ. එමෙන්ම ශාක පත්‍ර කටු බවට පත්ව ඇති අතර ඇතැම් පත්‍ර මාංසල ගතියකින් යුක්ත වේ. පත්‍රවල පුටිකා ගිලුණු ස්වභාවයක් ගනී. එවැනි ශාක ලෙස පතොක්, දලුක්, නවහන්දි, හීරැස්ස, හා කටු අන්දර වැනි ශාක මෙම වනාන්තර දැකිය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මාරන්තික විෂ සහිත සර්පයන් අතරින් වැලි පොළඟා මෙම කලාපයේ ව්‍යාප්ත වී ඇත.