තෛපොංගල් උත්සවය

Author:Dhananji Saranga

12 Jan 2121


avatar

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පවත්වන තෛපොංගල් දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක හා ලෝකය පුරා වෙනත් රටවල් ගණනාවක සැමරෙනවා.සුර්යයා  ධනු රාශියේ සිට මකර රාශිය දක්වා ගමන් කරන නිසා මෙම උත්සවය “මකර සංක්‍රාන්තිය” යනුවෙනුත් හැදින්වෙනවා.
තෛ යනුවෙන් අදහස් කරනු ලබන්නේ වර්ෂයේ පළමු මාසයයි. පොංගල් යන්න සාමාන්‍යයෙන් උත්සවය යන්න යි. තෛ මාසයේදී කරන්නේ කිරි ඉතිර වීමයි. මෙම කිරි ඉතිරවීම සිදු කරනු ලබන්නේ සූර්යා උදෙසායි. හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ ‘ආහාර පාන’ සපයා ගැනීමට උදවු උපකාර කරන සියලූම ජීව අජීව රාශින්ට කෘතවේදී බව ප‍්‍රකාශ කිරීමටය.
ක්‍රි. පූ. 2500 – 1000 අතර කාලයේ බටහිර ආසියාවේ සිට ඉන්දියාවට ඇවිත් පදිංචි වූණු ආර්යයන් අතරේ හිරු දෙවියන් නැමදීමේ චාරිත්‍රය පැවතුණා. ඒ තමන්ගේ අස්‌වනු පැසීම, වියළීම හා ඒ කටයුතුකර ගන්නට යහපත් කාලගුණයක්‌ ලබාදීම වගේ ලොකු සේවාවක්‌ කරන හිරු දෙවියන්ට ගෞරව කිරීමක්‌ විදියට. තෛයි-පොංගල් උත්සවය ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙච්ච එකක්. මේ උත්සවය එක්ක බැදී තියෙන හිරුගේ පිහිටෙන් ලබා ගත්තු අස්‌වැන්නෙන් මුල්ම කොටස හිරු දෙවියන්ට පිළිගැන්වීම තමා මේ උත්සවයේ ප්‍රධානම කටයුත්ත. ඔවුන් එහෙම පුදන්නේ “අනාගතයේද අපි මෙසේ ඔබ පුදන්නෙමු. ඒ නිසා අපගේ අස්‌වනු සරු කළ මැනවි” යන අහිංසක ඉල්ලීම හිත දරාගෙනයි .
තෛපොංගල් උත්සවයේ එක් එක් දවස් වෙනුවෙන් විශේෂිත උත්සව තිබෙනවා. පවුලට වෙන් වු උත්සවය බෝගි පොංගල්. සූර්ය පොංගල් උත්සවයේදී හිරු දෙවියන්ට පුද සත්කාර කරනවා. අඹ පත්‍ර වලින් සැරසිලි කරල හොදින් හිරු එළිය වැටෙන තැනකදී කිරි ඉතිරවීමට සලසනවා. එම ස්ථානය ගොම මැටි ගා පිරිසිදු කරල කොඩි වැල් එල්ලා අලංකාර කරනවා. හාල්  පිටිවලින් මෝස්තර සටහන් කරන අතර මේවා “කෝලම්” යනුවන් හැදින්වෙනවා. අලුත් මුට්ටියක කිරි උතුරවා එයට හකුරු මිශ්‍ර කර දෙවියන් පුජා කරන අතර නිවෙස්වල සහ දේවස්ථානවල කිරි උතුරවනු ලබනවා.
උත්සවයේ තුන්වැනි දිනය “මාට්ටු පොංගල්” යනුවෙන් හැදින්වෙනවා. එදාට ගවයා විශේෂිතයි. පෙරදා හවස ඉර බහින්න ආසන්න වෙලාවට ගව සහ එලුවන්ගේ ගාල් පිරිසිදු කරනවා. ගවයා නාවා , මල් මාලාවලින් සරසවා අලංකාර කරන අතර නිවසට පිට එලිමහනක අලුත් මුට්ටියක හකුරු, කිරි, සීනි, ගිතෙල්, මිදි එකතු කළ කිරි භාජනයක් ලිප තබනවා මේය උතුරන විට එතැන සිටින පිරිස “පොංගොල්, පොංගොල්” යැයි කියන අතර හක්ගෙඩිය පිඹ ආශිර්වාද කරනවා. උත්සවයේ හතරවැනි දවසේ බතක් සහ හත්මාලුවක් පිස කපුටන් සිටින තැන් වල එය විසුරුවා හරිනවා.
අලුත් ළිපක, අලුත් මුට්‌ටියක කිරි උතුරුවා ගැනීම මෙම උත්සවයේ දී කෙරෙන ප්‍රධාන කටයුත්තක් ලෙස හැඳින්විය හැකි යි. මෙම කිරි ඉතිරෙන අවස්‌ථාවේ දී නිවසේ සියලු දෙනාම “පොංගලෝ පොංගල්” යනුවෙන් හඬ නගා පැවසීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.මේ උත්සවයේ තවත් විශේෂිත අංගයක් වන්නේ නිවසේ ඇති කරන ගවයින් සහ එළදෙනුන් හට විශේෂ සැලකීම් කිරීමයි. ඔවුන් ජීවත්වන ගව ගාල් සුද්ධ පවිත්‍ර කර රසමසවුලෙන් යුතු ආහාර ලබාදී ඔවුන්ව සතුටට පත් කිරීම මගින් මෙය සිදුවෙනවා. 
ඒ වාගේම හින්දු බැතිමතුන් මෙම උත්සවය සැමරීමේ දී තම අසල්වැසි සියලු ආගම් වල ජනතාවටද උත්සව කාලය මුළුල්ලේ ම අහාර පාන රස කැවිලි ආදියෙන් සංග්‍රහ කිරීමටද අමතක නොකරයි. එනම් මේ තෛපොංගල් උත්සවය හරහා ආගමික පුද පූජා ඉටු කිරීම ට අමතර ව ජනතාව අතර සාමය සංහිඳියාව එකමුතුකම වැඩි කිරීමත් සිදුවේ. මෙසේ බලන විට තෛපොංගල් උත්සවය ආගමික සමාජික උත්සවයක් පමණක් නොව මුළු ජනසමාජයම එකට සමගිව ඒකරාශි කරනු ලබන උත්සවයක් බව අපට කිව හැක