ඇත්තටම අපි නිදහස් ද?

Author:Laksaree Gunawardhana

06 Feb 2121


avatar

 

තාමත් අපි නිදහස ලැබුවේ නැද්ද?

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ නන් දෙසින් උත්සවශ්‍රීයෙන් සහ අභිමානයෙන් යුතුව 73 වන නිදහස් දින සැමරුම පවත්වනවා ඇත. 1948 පෙබරවාරි 04 වැනිදා බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලාංකික අප නිදහස  ලබා ඇති මුත් සැබෑවටම ඔවුන් ඒ නිකැළැල් නිදහස භුක්ති විඳිනවාදැ' යි මොහොතකටවත් ඔබ සිතුවාද? ඔබ ඔබගේ චින්තනය කළඹන්න. එසේ සිතුවිලි කළඹා බලන විට ඔබට හැඟෙන්නේ තවමත් අප පූර්ණ නිදහසක් ලබා නොමැති බව නොවේද? දිනෙන් දින ආර්ථිකමය සහ සමාජීය වශයෙන් රට ආගාධයට යාමක් නොවේද? නිදහස යන වචනයේ අරුත හරිහැටි වටහා ගැනීමකින් තොරව අද සියල්ලෝම නිදහස් දින සැමරුම සැණකෙලියක් බවට පත්කොට ගෙන ඇත. 

1948 ලංකා ධරණි තලය ලබා ගත්තා යැයි කියන නිදහස අප භුක්ති විඳිනවානම් මෙය අද උත්තරීතර රටකි. එසේනම්, මානව හිතවාදී ගුණ ධර්මයන්ගෙන් ශික්ෂිත, කරුණා දයාභරිත, නව ආකල්පයන්ගෙන් සශ්‍රීක සමාජයක සාර අස්වැන්න දැකගත හැකිවන්නේ ය. සිගරට් සමාගම්වල කූට උපක්‍රමයන්ට හසු නොවී  නිදහස් සුව විඳිමින් ප්‍රීතිමත් සහ නීරෝගී හුස්මක් ගැනීමට හැකිවන්නේ ය. එනමුත් ලාංකිකයන් තවමත් මුලාවක පැටලී සිටියි. ඔවුන් සැබෑ නිදහසේ ජයග්‍රහණය ලබා නොමැත. බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනාගෙන 73 වන නිදහස සමරද්දීත් මිනිසුන් මත්ද්‍රව්‍ය ඉදිරියෙන් තබාගනිති. ඒ අනුව හරි දේ හරි විදියට පිළිගත නොහැකිව පෙර කී සමාගම්වලින් ප්‍රචාරණය කරන බොරුවෙහි පැටලී මිත්‍යා මත දරමින් හැසිරෙන ලාංකිකයා තවමත් තම  නිවට ගති අකාමකා දමා නැති බව පෙනී යයි. ඔවුහු සමාජයට පිළිකුල් වෙති. ස්ත්‍රී දූෂණ කරති. අඹු දරුවෝ ගුටිබැට වලින් හෙම්බත් ව සෝ සුසුම් හෙළති. එසේ නම් මොවුන් නිදහස් වී ඇත්තේ කුමකින් ද? දුර දිග බැලීමක් නැති අපේ මිනිසුන් බටහිර අධිරාජ්‍යවාදීන්ටම බැණ බැණ ඔවුන්ගේ දෙයම අනුකරණය කරති.  අදත් එදාත් එය එසේමය. විවිධාකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයේ කායික, මානසික බලපෑම මේ යයි කියද්දී මූනිච්චාවට හිස වනා හැරී ගිය සැනින් කොක් හඬ පා ජවුසන් දමන රටකි මේ. එසේනම් නිදහස පිළිබඳ උදම් අනනා ශ්‍රී ලාංකිකයන් සැබවින්ම බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන්  නිදහස් වී ද? 

නිදි පැදුරෙන් මොබයිලය අතට ගෙන නිශාචර ජීවිත ගත කරන ජීවිතවල තත්ත්වය ද ශෝචනීය වේ. ඔවුන් නිදහසේ සුව විඳින්නට තිබෙන කාලය මොබයිලයට යට කර තාක්ෂණික ලොවක පාවෙති. මව, පියා, සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ට කාලයක් නැත. අඩුම තරමේ හරි හැටි ඔලුව ඔසවා ඔවුන්ගේ මුහුණ බැලීමට උවමනාවක් නැත. එදා මුතුන්මිත්තන්ගේ දවස  සියල්ලෝම එක්ව රාත්‍රී ආහාරය ගෙන පිලේ, සාලේ අල්ලාප සල්ලාපයෙහි යෙදී, දාං, කැරම් අතක් අදිමින් විනෝද වූ හැටි අසද්දී අද දැකිය හැක්කේ ඇනරොයිඩයෙන් පබ්ජි ක්‍රීඩාවේ යෙදෙන තරුණයන් ය. මොවුන් කවදා නම් නිදහසේ දොරටු විවර කර ගනීදැ' යි සිතිය හැකි ඉමක්වත් පෙනෙන තෙක් මානයක නැත. එසේ නම් අප විසින් අප හිරගෙන ඇති සමාජයක නිදහසේ ප්‍රීති සමරන්නේ කෙසේද?

සැබෑ නිදහස දිනා ගැනීමට හැමදෙනාම උත්සාහවන්ත විය යුතුය. නැතහොත් හැමදාම එකතැන පල් වෙන මඩගොහුරක් සේ ඔබද ගඳ ගසනු ඇත. නිදහස දිනාගත්තේ නම් එහි සැබෑ රසය විඳීමට ඔබ යුහුසුළු විය යුතුය. නැතහොත් මේ මොහොතෙහි පටන් ඔබ ඊට සූදානම් විය යුතුය. එවිට ඔබටත් සැබෑවටම නිදහස දිනාගත් වීර චරිතයක් විය හැක. සැබෑ නිදහස රඳා පවතින්නේ මිනිසුන්ගේ ආකල්ප සහ චර්‍යා රටාවේ පවත්නා දියුණුව මතය. ඒ සඳහා ස්වශක්තියෙන් නැගීසිටිය යුතුය. කැපවීම, ආත්ම ශක්තිය ඔබ තුළ වර්ධනය කරගත යුතුය. සමාජයට ආදර්ශමත් විය යුතුය. පරගැතිභාවයෙන් නිදහස් ව ඔබ ඔබේ නිදහස ගෞරවාන්විතව භුක්ති විඳින්න. එදිනට පණ්ඩිත් අමර්දේවයන් ගායනා කරන "නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි" ගීතයට ඔබට නව පණක් දිය හැකිය. ආඩම්බරයෙන් ලෝකය ඉදිරියේ නැගීසිටිය හැකිය.


සටහන : ලක්ෂරී ගුණවර්ධන